සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීම රජයේ ප්‍රධාන අරමුණයි

Share

කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් අද දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇත.

 

එහිදී දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණ වල සිටින පුද්ගලයින් සියලුම දෙනාට රුපියල් 5,000 බැගින් ආබාධිත දීමනාව නිවසටම ගොස් ගෙවීම අද දින ආරම්භ කර ඇත.

දැනට දීමනාව ලබන සියලුම වකුගඩු රෝගීන් සදහා සහ පොරොත්තු ලේඛණවල සිටින සියළුම වකුගඩු රෝගීන් සදහා ද අද දිනයේ රුපියල් 5000 ක දීමනාව නිවසටම ගොස් ලබාදීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

එලෙසම දැනට අප්‍රේල් මාසය සදහා රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියළුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා තවත් රුපියල් 3000 ක අමතර මුදලක් අද දිනයේ සිට ලබාදීමට ද කටයුතු කරනු ඇත.

ඒ අනුව එම අය සදහා ද රුපියල් 5000 ක සම්පූර්ණ දීමනාවක් අප්‍රේල් මාසය සදහා ලැබේ.

තවද පොරොත්තු ලේඛණවල සිටින සියලුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා ද වැඩිහිටි දීමනාව වන රුපියල් 5000 ක මුදල අද (06) දිනයේ ගෙවනු ලැබේ.

ඒ අනුව ඉහත සදහන් සියලු දීමනා අද දිනය තුල දී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් මගින් ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීමට රජය කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

එමෙන්ම, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල ‌හෙට දින  එනම් අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ(05) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

Read more

Local News