මේරට දූෂණයෙන් වංචාවෙන් තොර ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනගනවා – ජනපති

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත් වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ කෑගලු ජන රැලිය අමතා අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, ජනතාවගේ ජීවන බර අඩුකිරීම සඳහා රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම තමා අතට ගන්නා බවයි.

පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත් මෙම වසරේ සිට එම වගකීම තමා භාර ගන්නවා. ඒ සඳහා මීට මාස තුනකට පෙර තමා විසින් පත්කළ ජාතික ආර්ථික සභාවේ සහාය ලබා ගන්නවා.

දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා බාර ගන්නා නිසා කිසිවෙකු රට හැර යන්නට එපා යන ඉල්ලීම කරනවා යැයි ද කීය.

ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමඟ ආරම්භ කරනා බවද කියා සිටියේය.

එමෙන්ම රටේ සියලු ආගමික නායකයන් උගතුන් බුද්ධිමතුන් සහ රටේ සියලු ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන් වංචාවෙන් තොර ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ අරඹන බව ජනාධිපතිතුමා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මහා ජලාශ ගණනාවක් සෑදීමට සූදානම් වන බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පත්වලට කිසිදු හානියක් සිදු නොවන අයුරින් ගංවතුර තත්ත්වය ද පාලනය කරමින් මහමුහුදට ගලායන මහ ජල කඳ ලෝකයේ ඉහළම නවීන තාක්ෂණය භාවිතා කරමින් නළ මාර්ගයෙන් උතුරට ගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි.

 

Read more

Local News