කොවිඩ් හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළුවලට කඩිනමින් විසඳුම්

Share

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළුවලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

ඔහු අවධාරණය කරන්නේ ඊට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අමාත්‍යවරයා සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ ලෝකය පුරාම අපනයන අඩාල වූ අතර ඒ නිසා මෙරට අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් විවිධ දුෂ්කරතාවන්ට පත්ව තිබේ.

අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම, බැංකු මඟින් එම භාණ්ඩවලට මුදල් ගෙවීම් කිරීමේ දී මතු ව ඇති ගැටළු, අපනයන ඇණවුම් සැකසීම වැනි කටයුතුවලදී ඔවුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව අපනයනකරුවන් තමන්ට දැනුම් දි ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙනම අධ්‍යයක් සිදු කර ඇති අතර අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා වන යෝජනා 08 ක් හඳුනා ගෙන තිබේ.

අපනයන ඇණවුම් සඳහා අමුද්‍රව්‍ය හිඟය මඟ හරවාලීම, අපනයනකරුවන් සඳහා රේගුව අනුගමනය කරන විශේෂිත බහු ක්‍රමය සඳහා පැහැදිලි මාර්ගෝපදේශ ලබා දීම, ආහාර පාන අපනයනය සඳහා බලපා ඇති ගැටළු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීම වැනි යෝජනා ඊට ඇතුළත් වෙයි.

ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අපනයන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අපනයන සංවර්ධන මණ්ඩලය සක්‍රීයව දායක වු බවයි.

Read more

Local News