විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 26 වැනිදාට

Share

2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මස 26 වනදා සිදු කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

 

මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු පැවසීය.

මෙහිදී සිද්ධිය වූ වකවානුවේ කුරුඳුවත්ත පොලීසියේ සේවය කළ නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු වු බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව සාක්ෂිකරුගෙන් විත්තියේ නීතිඥවරු විසින් සිදුකිරීමට නියමිත හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මස 26 වනදා සිදු කිරීමටද මහේස්ත්‍රාත්වරිය තීන්දු කර ඇත.

මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර තිබේ.

Read more

Local News