පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

Share

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලීමක් කරයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 (2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන බවය.

ආගමික රැස්වීමකදී යම් අපේක්‍ෂකයකුට ඡන්දය දීමට හෝ නොදීම සඳහා පෙළඹවීම, එකී කාර්යයන් සඳහා ආගමික රැස්වීමකදී ප‍්‍රචාරක පත‍්‍රිකා, ඡායාරූප ආදිය බෙදාහැරීම මෙන්ම යම් අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය හෝ යම් අපේක්‍ෂකයකු අගතියට පත් කිරීම පිණිස පූජනීය ස්ථානයක මහජන රැස්වීමක් සංවිධානය කිරීම මගින් මැතිවරණ දූෂණ ක‍්‍රියා යටතේ වන අයුතු බලපෑම නැමැති වරදට වරදකරු වන බව පනතේ 79(2) වගන්තිය දක්වා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

මෙම ක‍්‍රියාවක් සිදුකරන පුද්ගලයකු මහාධිකරණයක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකදී වරදකරු වුවහොත් රුපියල් පන්සියයක දඩයක් හෝ  මාස 6ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි අතර එයට අමතරව වසර 7ක් දක්වා කාලයකට මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සෙකු වන බව පනතේ 81 වන වගන්තිය දක්වා ඇත.

මැතිවරණයේ නිදහස සහ සාධාරණත්වය සඳහා මැතිවරණ නීතිවලට අවනත වීමේ වැදගත්කම අවධාරණය කරන පැෆ්රල් සංවිධානය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පූජනීය ස්ථාන භාවිත කිරීමෙන් හෝ භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී මැතිවරණයේ සුපිළිපන්න බව සඳහා දායකවන ලෙස සියලුම ආගමික නායකයින් සහ ආගමික ස්ථාන භාර පූජ්‍ය/පූජක උතුමන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News