මෙරට ප්‍රමුඛස්ථානය කෘෂිකර්මාන්තයට ලබා දෙන බව ජනපති කියයි

Share

පවතින ගැටලු සහ අඩුපාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් අද (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළ චාරිකාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණපාන පොහොර සහ ජල හිඟය ආදි ගැටලු නිරාකරණයට රජය පියවර ගනිමින් සිටින බවත් ගොවි ජනතාවගේ ගැටලු විසඳා ඔවුන් රැක ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයා පැවසීය.

තලාව, තම්මැන්නාව නිදහස් උයන ග්‍රාමයේ චාරිකා කළ ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් මුහුණපා සිටින ගැටළු විමසා බැලීය.

ඊරියගම වැව ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නේවාසික කළමණාකරුට උපදෙස් දුන්නේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කලා වැව, වැව් තාවුල්ලේ සංවිධාන කළ ජනතා හමුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.

ප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියාවේ වත්මන් තත්ත්වය සහ සහ කෘෂි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් තොරතුරු විමසීය.

වැව් තාවුල්ල අසළ පිහිටි කඩවර දේවාලයවෙත ගිය ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

පසුව කැකිරාව නගරයට පැමිණි ජනාධිපතිවරයා කුඹුක්සෙවණ ඉඩම ප්‍රදේශයේ පැවති ජනහමුවට සහභාගි විය.

පොදුජන පෙරමුණේ අපේක්ෂක වීරසේන ගමගේ මහතා විසින් එය සංවිධාන කර තිබිණ.

ප්‍රදේශයේ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු සහ ප්‍රදේශවාසී ජනතාව ද ඊට එක්ව සිටියහ.

ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ගොවි ජනතාව මුහණ දී සිටින ජල සහ වෙනත් ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කළේය.

විවිධ ජන කොටස් නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාව, සංස්කෘතික ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

කැකිරාව වෙළෙඳ සංගමය විසින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනාවලියක් ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read more

Local News