පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුවන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දිනයන්හි පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය භාවිත කිරීමට තැපැල් ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වන බව කොමිෂන් සභාව පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලයට ලබන 13 වන දින එම කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
සියලුම පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අතර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.
කෙසේවෙතත් එම දිනවල දී නොවැළැක්විය හැකි හේතුවක් මත ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැළදීම හා දෑත් විෂබීජහරණය සිදුකිරීම කළ යුතු වන අතර ඡන්දය සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පැහැති පෑනක් රැගෙන ඒම ද සිදුකළ යුතු බව කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.