මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක් ස්වයං නිරෝධායනයට

Share

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

 

කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සඳහා වෙන්කොට ඇති මධ්‍යස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයට පුද්ගලයන් ඇතුළත් කරන්නේ පි.සි.ආර් පරික්ෂණවලින් අනතුරුවය.

එහෙත් එහි සමාජිකයන් ආසාදනයට ලක්වුයේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (09) දිනය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගැනීමත්, සමගය.

කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 57 දෙනෙකු  සහ කටාර් රාජ්‍යයෙන් සහ බංගලාදේශයෙන් පැමිණි දෙදෙනෙකු ඊයේ ආසාදිතයින් බවට හදුනාගෙන තිබුණි.

නාවික හමුදා නිලධාරියෙකු ද ආසාදිතයෙකු ලෙස ඊයේ දිනයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 12 දෙනෙකු ඊයේ සුවය ලබා පිටව ගොස් තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ වැලිකන්ද, මිනුවන්ගොඩ, තෙල්දෙණිය සහ කාත්තන්කුඩි යන රෝහල්වල ප්‍රතිකාර ලමින් සිටි රෝගීන් 12 දෙනෙකු මෙලෙස  සුවය ලබා පිටව ගිය බවය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් 2154 දෙනාගෙන් 1979 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

තවත් ආසාදිතයින් 164 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

නිරෝධායන නිතිරීති ලිහිල් කිරීමත් සමග සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාවගේ සැලකිලිමත්භාවය ගිළිහෙමින් පවතින බවට නිරික්ෂණය වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Read more

Local News