නොදිරන පොලිතීන් ආහාර දවටන නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් වටලයි

Share

ගම්පහ තිහාරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නොදිරන පොලිතීන් ආහාර දවටන නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වටලා තිබේ.

පොලීසිය සමග එක්ව සිදුකළ මෙම වැටලීමේ දී එම කර්මාන්ත ශාලාවේ තිබී රුපියල් ලක්ෂ 4ක පමණ වටිනාකමින් යුත් එම ආහාර දවටන කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

එමෙන්ම ඒවා නිෂ්පාදනය සඳහා යොදාගත් යන්ත්‍ර සහ උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.

අදාළ නිෂ්පාදන පිටකොටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළෙඳසැලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වු බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

නොදිරන පොලිතින් ආහාර දවටන සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු අතර මේ වන විට එම කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි යළි ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.‍

Read more

Local News