ජාතික ලැයිස්තු නම් 19ක් නිකුත් කෙරේ

Share

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තෝරා පත් කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නම් කර ඇති පුද්ගලයින්ගේ නම් ගැසට් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැති බව වාර්තා වේ.

සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේත් සාකච්ඡා පැවතුණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

ජාතික ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද මෙතෙක් නම් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

කෙසේවෙතත් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති අතර එම පක්ෂයේ ලේකම් හිමියන් විසින් සිය නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

එම පත්කිරිම සිදුනොකරන ලෙස අපේ ජනබල පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීම හේතුවෙන් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ගැසට් කිරීම ප්‍රමාද කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

Read more

Local News