බ්‍රිතාන්‍ය ආර්ථිකය සීඝ්‍රයෙන් පහලට

Share

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට දෙකෝටි අට ලක්ෂය ඉක්මවා තිබේ. වාර්තාවන සමස්ථ මරණ ගණන හත් ලක්ෂ හතලිස් හත් දහස් තුන්සිය පහකි.

 

පසුගිය සමයේ දී යුරෝපා කලාපයේ වසංගත ව්‍යාප්තිය සාපේක්ෂව පහළ ගිය නමුත් මේ වනවිට නැවතත් වඩා වේගයෙන් වෛරසය පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගතවූ පැය 24 තුළ ජර්මනියෙන් ආසාදිතයින් 1,320ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 2,524ක් වාර්තා වී ඇත්තේ වසන්ත නිවාඩු සමය ගතකරමින් සිටින වැසියන්ට රතු එළි දල්වමිනි.

ඊයේ (12) දිනයේදී පමණක් ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 3,172 ක් වාර්තා වී ඇත්තේ රටපුරා සක්‍රීය කොවිඩ් වළලු 675ක් වාර්තාවන පසුබිමකය.

එමෙන්ම එක් දිනකදී ග්‍රීසියෙන්ද ආසාදිතයින් 262ක් හඳුනාගෙන ඇත.

මෙවන් වාතාවරණයක දී බ්‍රිතාන්‍යයේ ආර්ථිකය සියයට 20.4 ක ප්‍රබල පසුබෑමක් වාර්තා කර තිබේ.

2020 වසරේ දෙවැනි කාර්තුවේ දී කොවිඩ් වසංගතය පැතිරයාමත් සමගින් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, කාර්තු වශයෙන් ආර්ථික වර්ධන සලකාබැලීම හඳුන්වාදුන් 1955 වසරේ සිට එරටින් වාර්තා වූ විශාලතම ආර්ථික පසුබැස්ම මෙය බවය.

රට අකර්මණ්‍ය කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර හා කර්මාන්ත වසාදැමීමෙන් මේ තත්ත්වය උද්ගත වූ බවත් ‍එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර රුසියාව හඳුන්වා දී ඇති එරට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නිර්දේශ කළ ලොව පළමු කොවිඩ් එන්නත වන ‘ස්පුට්නික් වී’ එන්නත, සම්බන්ධයෙන් කථිකාවතක් නිර්මාණය වී තිබේ.

සමහර විද්‍යාඥයින් පවසන්නේ එහි සායනික පරික්ෂාවල ප්‍රගතිය හෝ එය කෙතරම් පිරිසක් යොදාගෙන අත්හදාබලා ඇත්ද යන්න පිළිබඳව, පැහැදිලි සාක්ෂි හඳුනාගෙන නොමැති බවය.

මේ අතර අමෙරිකාවේ මොඩෙර්නා නම් ආයතනය මගින් නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතින් මාත්‍රා මිලියන 100ක් මිලදීගැනීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.‍

මේ අතර ඉන්දියාවෙන් ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයින් 67,066 ක් හඳුනාගෙන ඇති අතර ඒ සමගින් රටේ ආසාදිතයින් ගණන ලක්ෂ 24ට ආසන්න වුණි.

අයෝධ්‍යාවේ රාම දේවාල පදනමේ ප්‍රධාන භාරකරු මහාන්ත් රිත්යා ගෝපාල් දාස් කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු අයෝධ්‍යා රාම දේවාලයේ ඉදිකිරීම් අරඹමින් ගිය සතියේ පැවැත්වුණු දැවැන්ත උත්සවයට එක්ව සිටි අතර එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි සමීපයේ එකම වේදිකාවේ සිටිනු දක්නට ලැබුණි.

එරට කැබිනට් අමාත්‍යවරයෙකු වන ශ්‍යාපාද් නායික් ද කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.

Read more

Local News