පූජිත් ජයසුන්දර අද ජනපති කොමිසම හමුවට

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමු වේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස පසුගියදා නම් කරනු ලැබීය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන් වන හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ පොලිස් අධිකාරී චිත්‍රානන්ද වික්‍රමසේකර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් ද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මේ අතර 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 08 දෙනෙකු ඝාතනය කළේ යැයි චෝදනා කරමින් ගොණුකර ඇති නඩුවට අදාළව හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා කොළඹ මහාධිකරණය හමුවේ විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කර තිබේ.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (19) අදාළ නඩු විභාගය පැවැත්විය.

එහිදී විත්තිවාචකය ඉදිරිපත් කළ නියෝමාල් රංගජිව මහතා කියාසිටියේ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට සම්බන්ධවිමෙන් පසු තමා මත්ද්‍රව්‍ය වැටලීම් 1000කට අධික සංඛ්‍යාවකට සහභාගී වී ඇති බවය.

2015 වසරේ අප්‍රේල් මස 06 වන දින එවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමාට කතා කොට වැලිකඩ බන්ධනාගාරය තුළ කැරැල්ල ඇති වූ අවස්ථාවේ එම ස්ථානයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයකට අනුව ගිය බව ප්‍රකාශ කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව රංගජීව මහතා ප්‍රකාශ කළේය.

ඊට තමා එකඟ නොවූ බැවින් පූජිත් ජයසුන්දර මහතා තමා සමග අමනාපයෙන් පසු වූ බවත් තමාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මෙම නඩුව පැවරූ බවත් ඔහු අධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.

වැලිකඩ බන්ධනාගාර තුළ කැරැල්ල ඇති වූ අවස්ථාවේ දී තමා ඒ තුළ සිටි බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී රංගජීව මහතා අසාධාරණ ලෙස තමන්ව මෙම නඩුවට පටලවා ඇති බව සඳහන් කර ඇත.

විත්තිකාර නියෝමාල් රංගජීව මහතාගේ වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනිම ලබන 26 වනදා තෙක් කල්තැබීමට ත්‍රිපුද්ගල කොළඹ මහාධාකරණය නියෝග කර තිබේ.

Read more

Local News