නීතිපති ශ්‍රී ලංකාවේ සිටින එ.ජා. සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා හමුවෙයි

Share

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු පිළිබඳ සහ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පිළිබඳ සමුද්‍ර විශේෂඥයෙකු සමග සාකච්ඡා පවත්වා තිබේ.

 

පසුගියදා නීතිපති නිල මැඳුරේදී මෙම සාකච්ඡා පවත්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

කලාපීය වශයෙන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට හා අනෙකුත් අපරාධ හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පවතින නෛතික ගැටලු හා කලාපයට අදාළ විමර්ශන ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

මෙරටට ජාත්‍යන්තර අපරාධවලින් සිදුවන උවදුරු හා බලපෑම් පිළිබඳ එම සාකච්ඡාවේ දී නීතිපතිගේ දැඩි  සැළකිල්ලට භාජනය වී ඇති බවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.

Read more

Local News