පාස්කු ප්‍රහාරය ගැන තවත් අනාවරණයක්

Share

ඉරුදින ප්‍රහාරය සම්බන්ධව පුර්ව දැනුවත් කිරීම් කිසිවක් තමන් විසින් ලිඛිතව එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට යොමු නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදි ඊයේ (26) පිළිගත්තේය.

 

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා නිලන්ත ජයවර්ධන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් හෙළිදරව් වුයේ ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් පුර්ව දැනුම්දීමක් කරන තුරු ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට අනාවරණය වී නොතිබුණු බවය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 19 වන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදී ඔහු විසින් ඉකුත් වසරේ අප්‍රේල් මස 09 දින පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචනය රැස්වීමට අදාළ තාක්ෂණික සාක්ෂියක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් එම සාක්ෂිය ඉදිරිපත් කිරීම මාධ්‍යට විවෘත වුයේ නැත.

අනතුරුව කොමිසම යළි මාධ්‍යයට විවෘත වු අවස්ථාවේදි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබීය.

එහිදි නීතිඥවරයා පළමුව විමසා සිටියේ, “රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වු ඔබ රාජකාරීමය වගකීමකින් බැඳීසිටින්යේ කුමන නිලධාරියාටද” යන්නය.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ තමන් ආරක්ෂක ලේකම්වරයා යටතේ සෘජුවම රාජකාරි කළ බැවින් වගකීමෙන් බැඳී සිටියේ ද ආරක්ෂක ලේකම්වරයාට බවය.

එහිදි නීතිඥවරයා විමසා සිටියේ නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස රැඳී සිටි කාලය තුළ කොපමණ කලක් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ද යන්නය.

2018 වසරේ නොවැම්බර් මස 02 දින හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කළ බවත් පාස්කු ප්‍රහාරය එල්ල වී දින දෙකකට පසු ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වන තුරු මාස 05 1/2ක පමණ කාලයක් ඔහු එම ධුරයේ රැඳී සිටි බවත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එතැන් සිට තමන් හා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉතා සමීපව රාජකාරි සිදුකළ අතර දිනකට දුරකථන ඇමතුම් 2ක් හෝ 3ක් ලබාගන්නා පසුබිමක් තුළ මසකට දුරකතන ඇමතුම් 80ක් පමණ දෙදෙනා අතර හුවමාරු වු බව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මෙහිදි ප්‍රශ්න කර සිටියේ “2019 අප්‍රේල් මස 01 සිට 20 දක්වා සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට යොමුකර නොමැති බව ඔබ පිළිගන්නේද” යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන තමන් එය පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

එහිදි නැවතත් නීතිඥවරයා පෙරළා දැඩිව ප්‍රශ්න කළේ “අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පුර්ව දැනුවත් කිරීමක් කර එය අප්‍රේල් 05 දින ලිඛිතව ලබා දී තිබු පසුබිමක අප්‍රේල් 21 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වන තුරු ආරක්ෂක ලේකම්වරයාට කිසිදු පුර්ව දැනුවත් කිරීමක් ලිඛිතව ඉදිරිපත් නොකළ බව පිළිගන්නේ ද” යන්නය.

එහිදී ද තමන් කිසිදු පුර්ව දැනුවත් කිරීමේ වාර්තාවක් ආරක්ෂක ලේකම්වරයාට ප්‍රහාරයට පෙර ලිඛිතව ඉදිරිපත් නොකළ බව ජයවර්ධන මහතා පිළිගත්තේය.

ප්‍රහාරය එල්ල වන තෙක් ලිඛිත වාර්තා ඉදිරිපත් නොකළ තමන් ප්‍රහාරයෙන් පසු ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත වාර්තා 03ක් ඉදිරිපත් කළ බව පිළිගන්නේ ද යන්න නීතිඥ දිල්ශාන් ජයසුරිය මහතා යළි ප්‍රශ්න කළේය.

එයට ද පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ප්‍රහාරය එල්ලවීමෙන් පසු තමන් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත වාර්තා 02ක් සැපයීමට කටයුතු කළ බවය.

කෙසේවෙතත් ප්‍රහාරය පිළිබඳව වූ පුර්ව දැනුවත් කිරීම් පිළිබඳ තමන් ලිඛිතව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් නොකළද, ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 07 වන දින දුරකථනයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පෙන්වීමට තමන්ට සාක්ෂි ඇතැයි ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

එහිදි නැවතත් හරස් ප්‍රශ්නයක් යොමුකළ නීතිඥ ජයසුරිය මහතා කියා සිටියේ ලිඛිතව යැවිය යුතුයැයි නොසිතු සාක්ෂිකරු, අප්‍රේල් 07 දින දුරකථනයෙන් දැනුවත් කළ බවට ලබදෙන සාක්ෂිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවය.

එම සාක්ෂිය අසත්‍ය බවට වූ යෝජනාව තමන් පිළිනොගන්නා බව පැවසු ජයවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේ ඉකුත් වසරේ අප්‍රේල් මස 07 දින තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ඇමතීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාද අමතා ඒ වන විට ලැබි තිබු විදෙස් බුද්ධි අංශ තොරතුර පිළිබඳ දැනුවත් කළ බවය.

සාමකාමි රටක මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වනවායැයි බරපතළ තොරතුරක් ලැබුණු අවස්ථාවක දවසට දෙතුන් පාරක් සුහදව කතා කළ තම ඉහළ නිලධාරියාට ලිඛිතව දැනුම් නොදුන්නේ මන්දැයි නීතිඥ ජයසුරිය මහතා යළි ප්‍රශ්න කළේය.

“බුද්ධි තොරතුරු ලිඛිතව ලබාදෙන්න කියලා නියමයක් නැහැ. විවිධ ක්‍රමවලින් අපි බුද්ධි තොරතුරු වගකිවයුත්තන්ට ලබාදෙනවා. අපි දුරකථනයෙන් මීට වඩා දේවල් කතා කරලා තියෙනවා. ලේඛන ගැන තර්ක කරන්න ගත්තේ අප්‍රේල් 21 වෙනි දායින් පස්සේ.“ යනුවෙන් එහිදි ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.

අනතුරුව නීතිඥවරයා විමසා සිටියේ ” රාජ්‍ය බුද්ධි සේවය කොපමණ බුද්ධි මෙහෙයුම් කළත්, විදෙස් රටක බුද්ධි අංශයකින් තොරතුරක් ලැබෙන තෙක් මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ හාංකවිසියක්වත් මෙරට රාජ්‍ය බුද්ධි සේවය නොදැන සිටි බව පිළිගන්නේ ද“ යන්නයි.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ විදෙස් බුද්ධි තොරතුර ලැබෙන තුරු හෙට මෙවැනි ඉලක්කගත මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ තම බුද්ධි සේවයට තොරතුරු අනාවරණය වී නොතිබුණ ද, 2017 වර්ෂයේ සිටම සහරාන් හෂිම් ප්‍රමුඛ අන්තවාදීන් පිළිබඳ වාර්තා 347ක් රාජ්‍ය බුද්ධි සේවය වගකිවයුත්තන්ට ලබාදුන්නේ මෙවැනි තොරතුරක් හෝ නොලැබෙන තැනට කටයුතු සැළැස්වීමට බවය.

” අපි රාජකාරි කළේ දුර බලලා. අපි 2018 ඉදලා දැනගෙන හිටියා මෙහෙම දෙයක් වෙයි කියලා. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවලා අත්අඩංගුවට ගන්න කිව්වේ ඒ හින්දා. 2017 අපි කිව්ව විදිහට සහරාන් ඇතුළු අනුගාමිකයන් අත්අඩංගුවට අරන් අවශ්‍ය පියවර අරන් නිවැරදිව සමාජගත කළානම් මේ තො‍රතුර ලැබෙන තත්ත්වයට වැටෙන්නේ නැහැ.“

එහිදී නීතිඥවරයා විමසා සිටියේ ඔබ පවසන ලෙස “ජාතික ආරක්ෂක කවුන්සලයට දිගින් දිගටම කියලත් ඒ සම්බන්ධයෙන් අවැසි පියවර නොගත්තේනම් අනිත් නිලධාරින්ට වඩා ජනාධිපතිවරයා වගකිවයුතු නොවේද” යන්නයි.

එයට පිළිතුරුදෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ, ජාතික ආරක්ෂක කවුන්සලයේ සභාපතිවරයා ලෙස ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වැඩි වගකීමක් පැවරෙන බවය.

Read more

Local News