70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපති වෙත

Share

පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප‍්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇත.

මෙම සමරු මුදල් නෝට්ටුව 2018-02-06 වනදා සිට බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන බව මහබැංකුව පවසයි.

Read more

Local News