රාජ්‍ය ආයතන සතු වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට අනුමැතිය

Share

රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ පවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, එසේ කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් රජය තීරණය කර තිබේ.

අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැවිලි ඇමැති සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

මුදල් විෂය භාර ඇමැතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතන සතුව පවතින බවත්, 2020 අගෝස්තු 31 වැනිදා වන විට අලුත්වැඩියා කර භාවිතයට ගතහැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බව හඳුනාගෙන ඇති බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

ඒ අනුව, අලුත්වැඩියා කර භාවිතා කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සඳහා, අදාළ ආයතනවලට ප්‍රතිපාදන නොමැති අවස්ථාවලදී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ඒ සඳහා ප්‍රතිපාදන සලසා දීමටත්, එලෙස අලුත්වැඩියා කෙරෙන වාහන, ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති රාජ්‍ය ආයතන වෙත මුදල් අමාත්‍යංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබා දීමටත් කටයුතු කෙරේ.

භාවිතයට ගත නොහැකි වාහන ඉතා ඉක්මනින් අපහරණය කොට එම මුදල් රජයට ලබා ගැනීමටත්, එම මුදල් ජාතික අරමුදලට සහ පළාත් අරමුදලට බැර කිරීමටත් මෙහිදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read more

Local News