වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්

Share

වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත.

 

එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි.

ඊයේ පස්වරුවේ ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මෙම කරුණු සදහන් කළේය.

මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් විමසුමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීමට රජයේ අපෙක්ෂාවයි.

ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදි ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

දේශීය සහ විදේශීය අරමුදලින් ඒ සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නල කිලෝ මීටර් 40,000ක් අලුතින් එළීමට සැලසුම් කර ඇති බවද සාකච්ඡාවේදි හෙළිවිය.

ප්‍රජා ජල ව්‍යාපෘති ඉහළ ප්‍රමිතියකින් සිදු කිරීමටත් මාර්ග ඉදි කිරීම ජල සම්පාදනය සමග ඒකාබද්ධව කිරීමටත් මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News