ජයපැරදුමෙන් තොරව නිමා වු ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය

Share

චිතගොං නුවර දී පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ඊයේ (04) ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. තරඟය නිමාවෙද්දී බංග්ලාදේශය කඩුලු 5ක් අතැතිව ලකුණු 81ක් ඉදිරියෙන් පසුවිය.

බංග්ලාදේශ පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 513ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 713ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 200ක වාසියක් ද සහිතවය. එහෙත් ඊයේ තරගය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 307ක් ලබා සිටියදී තරගය ජයපැරදුමෙන් තොරව නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ.

ඊයේ දිනයේ සම්පුර්ණ ගෞරවය දිනාගත් මොමිනුල් හක් පන්දු 174කට මුහුණ දෙමින් ලකුණු 105ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ගෙන දුන් ලිටොන් දාස් ලකුණු 94ක් රැස් කළේය.

සිය ටෙස්ට් තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට රොෂේන් සිල්වා සමත්විය. බංග්ලාදේශ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන් රොෂේන්ගේ ශතකයට අගනා සහයක් ගෙනදුන් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 87ක් ලබාගත්තේය.

බංග්ලාදේශ පිලේ පළමු ඉනිමේදි ලකුණු 176ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 105ක් ද ලැබූ මොමිනුල් හක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ඩකා නුවරදි ඇරැඹෙයි.

Read more

Local News