ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමට තීරණය කරයි

Share

දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

 

දැනට පවතින ඇතැම් ජාතික පාසැල් නමට පමණක් සීමා වී ඇති අතර ඒවායේ ප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා එවැනි පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව පෙන්වා දෙයි.

සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ(10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මෙම තීරණයන් ට එළඹ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගුරු මාරුවීම් සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයක් සඳහාම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එය පොදු යහපත අරමුණු කරගත් කටයුත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

පාසැල් පද්ධතියේ දියුණුව වෙනුවෙන් දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට ද අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාස කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙහිදී එකඟත්වය පළ වී ඇති අතර, දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව රැස්වීමේ දී කරුණු සාකච්ඡා වී ඇත.

ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතු අතර, විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදුනොවීම බව ද මෙහිදී සඳහන් වී තිබේ.

ඒ අනුව, පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read more

Local News