නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද

Share

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද(14) සිදුකිරීමට නියමිත ව තිබේ.

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත යොමුකර ඇති බවයි.

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු සැතපුම් 52කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබේ.

කිමිඳුම්කරුවන් යොදාගනිමින් නෞකාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.

මේ අතර නීතිපතිවරයා සහ නෞකාවේ ගිනි ගැනීමේ කටයුතු පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News