මම ඉදිරියේදි එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජයවර්ධන

Share

තමන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව අභිනවයෙන් පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.

 

පාක්ෂිකයින්ගේ විශ්වාසය යළි දිනා ගෙන පක්ෂය වැටී සිටින තත්ත්වයෙන් යළි ගොඩ ගෙන යළි නිසි තැනට ගෙන ඒමට තමාට ශක්තිය ඇති බව විශ්වාස කරන බවද විජයවර්ධන මහතා පැවසීය.

පාක්ෂිකයින්ද ඒ සඳහා කැප වී ක්‍රියා කරනු ඇති බව තමාට විශ්වාස බව පැවසූ ඒ මහතා ඉතාමත් කෙටි කලකින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කර අලුත් මුහුණුවරකින් පක්ෂය රටට ඉදිරිපත් කරන බවද ජනතාවගේ විශ්වාසය සහ හදවත දිනා ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යන බවද අවධාරණය කළේය.

නියෝජ්‍ය නායකත්වයට පත් වීමෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

නියෝජ්‍ය නායකත්වය ලබා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහයෝගය තමාට ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් සිටි බවත් තමා සමග තරඟ වැදුණු රවි කරුණානායක මහතා සමග සුහදව කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බව පක්ෂයේ බොහෝ දෙනාගේ අදහස තිබෙන බවත් 20 වැනි සංශෝධනය සහ මරණීය දණ්ඩනය නියම වූ අය පාර්ලිමේන්තුවේ දිව්රුම් දීම වැනි ආණ්ඩුවේ ඒකාධිපති ක්‍රියාවන්ට විරෝධය දැක්විමට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව පැවසූ විජේවර්ධන මහතා වික්‍රමසිංහ මහතා තවම ඒ ගැන තීරණයක් ගෙන නොමැති බවද සදහන් කළේය.

Read more

Local News