ඥානසාර හිමියන්ට එරෙහි නඩු විභාගයකින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වෙයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද(16) ඉවත් වී තිබේ.

 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවීමට ද දින නියම වුණි.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Read more

Local News