රවිගේ පෙත්සම විභාගයට ගැනීම දෙසැම්බර් මසදී

Share

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත්කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විභාගය දෙසැම්බර් මස 18 වනදා සිදුකරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

2016 වසරේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත්කර තිබේ.

මෙම පෙත්සම් අද(21) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම දෙසැම්බර් මස 18 වන දා විභාගයට ගැනීමට නියම කෙරුණි.

එදින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගන්නා ලෙසට ද නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්වලට අදාළ විරෝධතා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති බවය.

මෙහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා අද සිට සති දෙකක් ඇතුළත ගොනුකොට අවසන් කරන ලෙසය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ විභාගය දෙසැම්බර් මස 18 වනදා සිදුකරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Read more

Local News