හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් වසාදමයි

Share

හෙම්මාතගම, අරණායක ප්‍රධාන මාර්ගය අසල පිහිටි කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ඉරිතැලිම් කිහිපයක් හේතුවෙන් එහි වෙළෙඳ ආයතන වසා දැමීමට හෙම්මාතගම පොලීසිය විසින් අද(21) දැනුම්දීමක් කර ඇත.

 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ලබා ගන්නා තෙක් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, වසම භාර ග්‍රාම නිලධාරී ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹ තිබේ.

හෙම්මාතගම අරණායක ප්‍රධාන මාර්ගය අසල හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප්‍රධාන ගෙට්ටුව අසලයි.

ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම වැළැක්විමට පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව හෙම්මාතගම පොලීසිය පවසයි.

මේ වන විට එම ගොඩනැගිල්ලේ ඉරිතැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර, ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් සෙලවිය හැකි බව ද එහි පැමිණි නිලධාරින්ට නිරීක්ෂණය වී තිබේ.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර උපකාරක පංති පැවැත්වීම් කර ඇති අතර පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්වීම් සිදුනොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇති බවත් වාර්තා වේ.

Read more

Local News