2024 දී නාසා ආයතනය කරන දෙයක්

Share

නාසා ආයතනය 2024 වර්ෂය වන විට නැවත සඳ මතට යෑම සඳහා ඩොලර් බිලියන 28ක සැලැස්මක් නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

 

‘ආටෙමිස්’ ලෙස හඳුන්වන මෙම වැඩසටහන 1972න් පසු පළමු වතාවට මිනිසුන් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත පා තැබීමේ ක්‍රියාව සඳහා නාසා ආයතනය කාන්තාවක සහ පුරුෂයෙකු යොදා ගැනීමට නියමිතයි

මෙම මෙහෙයුමේ කාල නියමය තීරණය වන්නේ සඳ මත ගොඩබෑමේ පද්ධතියක් ගොඩනැගීම සඳහා ඇමරිකානු කොන්ග්‍රසයෙන් ඩොලර් බිලියන 3.2 ක් ලබා දීමත් සමග වන අතර ගගනගාමීන් ‘ඔරායන්’ ලෙස නම් කළ ඇපලෝ ආකාරයේ කැප්සියුලයක ගමන් කිරීමට නියමිත අතර එය SLS නම් ප්‍රබල රොකට්ටුවකට සම්බන්ධ කරනු ඇත.

“ඩොලර් බිලියන 28, සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් වැඩසටහනේ ඉදිරි සිව් වසර සඳහා වන පිරිවැයයි. SLS සඳහා අරමුදල්, ඔරායන් සඳහා අරමුදල්, මිනිසුන් ගොඩබෑමේ පද්ධතිය සහ ගගනගාමී ඇඳුම් කට්ටල එයට ඇතුළත්. ආටෙමිස් වැඩසටහනේ කොටස් වන මේ වන සියල්ල ඇතුළත් වෙනවා,” සඳුදා (සැප්තැම්බර් 21) පස්වරුවේ (එක්සත් ජනපද වේලාවෙන්) නාසා පරිපාලක ජිම් බ්‍රිඩන්ස්ටයින් අදහස් දක්වමින් පැවසීය.

නමුත් ඔහු මෙසේ පැහැදිලි කළේය, “මේ වන විට අප සභාව සහ සෙනෙට් සභාව ඉදිරියේ ඇති අයවැය ඉල්ලීමට මිනිසුන් ගොඩබෑමේ පද්ධතිය සඳහා 2021 වසරට අදාළ ඩොලර් බිලියන 3.2 ක් ඇතුළත් වෙනවා. එම ඩොලර් බිලියන 3.2 ලබා ගැනීම අතිශයින්ම වැදගත්.”

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳ මත ගොඩබෑමට අදාළ ඩොලර් මිලියන 600 ක් වෙන් කරන පනතක් දැනටමත් සම්මත කර තිබේ. නමුත් සිය රථය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීම සඳහා නාසා ආයතනයට තවත් අරමුදල් අවශ්‍ය වනු ඇත.

“මට පැහැදිලි කිරීමට අවශ්‍යයි. මිනිසුන් ගොඩබෑමේ පද්ධතියකට අරමුදල් සැපයීම ද්වි පාර්ශ්වික ආකාරයකින් වැදගත් යැයි ඔවුන් තීරණය කර තිබීම ගැන අපි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සුවිශේෂී ලෙස කෘතඥ වෙමු. ඩොලර් මිලියන 600ක් නියෝජනය කරන්නේ එයයි. අපි ඉල්ලන්නේ සම්පූර්ණ ඩොලර් බිලියන 3.2 යි,” ජිම් බ්‍රිඩන්ස්ටයින් තවදුරටත් පැවසීය.

2019 ජුලි මාසයේදී ජිම් බ්‍රිඩන්ස්ටයින් සීඑන්එන් වෙත පැවසුවේ 2024 දී සඳ මත ඇවිද යන පළමු කාන්තා ගගනගාමියා “එම ක්‍රියාව ඔප්පු කර ඇති, පියාසර කළ, දැනටමත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අයෙකු” බවය. එමෙන්ම, ඇය දැනටමත් ගගනගාමී බළකායේ සිටින අයෙකු වනු ඇතැයි ද ඔහු පැවසීය.

මෙම සම්මුඛ පරීක්ෂණය සිදු කරන විට ක්‍රියාකාරී කාන්තා ගගනගාමීන් 12 දෙනෙක් සිටියහ. එතැන් සිට මේ වසර මුලදී පුහුණුව ලබා ඇති තවත් කාන්තා නාසා ගගනගාමීන් පස් දෙනෙකු ද ඔවුන් සමඟ එකතු වී ඇත. 2024 දී පළමු ගොඩබෑමේ මෙහෙයුමට පියාසර කිරීම සඳහා වන නිර්ණායක සපුරා ගැනීමට නවතම ගගනගාමීන් කිසිවෙකුට හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

NASA Moon mission 2024

ආටෙමිස් සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමේ කාල සීමාව පිළිබඳව විමසූ විට නාසා ප්‍රධානියා කියා සිටියේ පළමු මෙහෙයුමට අවම වශයෙන් වසර දෙකකට පෙර කණ්ඩායමක් තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත්, ඔහු මෙසේ පැවසීය, “ආටෙමිස් කණ්ඩායම වඩා කලින් හඳුනා ගැනීම වැදගත් යැයි මම සිතනවා… මූලික වශයෙන් එය දිරිගැන්වීමක් වෙයි කියලා මම සිතනවා.”

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමෙන් ධවල මන්දිරයට අවශ්‍ය වන්නේ අභ්‍යවකාශයේ ඇමරිකානු නායකත්වය අලුත් කිරීමටය. චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයෙන් වටිනා අයිස් තැන්පතු නිස්සාරණය කිරීමට ද සැලසුම් තිබේ. මේවා චන්ද්‍රයා මත රොකට් ඉන්ධන සෑදීම සඳහා භාවිත කළ හැකිය. එය පෘථිවියේ සිට ඉන්ධන ගෙනයාමට වඩා වියදම අවමය.

එහෙත් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් චීනයේ අභ්‍යවකාශ ගමන් අභිලාෂයන් ගැන ද සඳහන් කර තිබේ. 2019 ජනවාරියේදී නැගෙනහිර ආසියානු සුපිරි බලවතා රොබෝ රෝවරයක් සඳේ එක් කොටසකට මෘදු ලෙස ගොඩ බැස්ස වූ පළමු රට බවට පත්විය. පෘථිවියේ විද්‍යාගාර වෙත චන්ද්‍රයාගේ පස් සාම්පල ලබා දීමේ පළමු මෙහෙයුම සඳහා චීනය දැන් සූදානම් වෙමින් සිටියි.

චීන ගගනගාමීන් සඳහා සඳ වැනි ගැඹුරු අභ්‍යවකාශ ගමනාන්ත වෙත පියාසර කළ හැකි ඊළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානයක් මේ වන විට සංවර්ධනය කරමින් සිටියි. 2024 වන විට චීනය එහි යෑමට කාල නියමයක් නොතිබුණද, මෙම දශකය තුළ එවැනි ඉලක්කයක් කරා යෑමේ සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ඇත.

නාසා ආයතනය නිකුත් කළ නව ලේඛනයකින් එක්සත් ජනපද සැලැස්මේ පළමු අදියර දක්වා තිබේ. එනම් 2021 සරත් සෘතුවේ දී මිනිසුන් නොමැති යානයක් සඳ වටා යවා අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත අතර, මෙය ආටෙමිස් -1 ලෙස හැඳින්වේ.

නාසාහි මානව අභ්‍යවකාශ ගමන් ප්‍රධානී කැතී ලුඩර්ස් පැවසුවේ සියලු අවදානම් පද්ධති පරීක්ෂා කිරීම සඳහා ආටෙමිස් -1 ක්‍රියාවලිය මාසයක් පමණ පවතිනු ඇති බවය.

මෙම ප්‍රදර්ශන පියාසර කිරීම මගින් ආටෙමිස් -2 සඳහා ඇති අවදානම අඩු කරන අතර, එමඟින් ගගනගාමීන් සමඟ සඳ වටා සංචාරය නැවත සිදු කරනු ඇතැයි ඇය කීවාය.

අදාළ ක්‍රියාවලිය සමීපව අත්හදා බැලීම සඳහා මෙම මෙහෙයුමට නව පරීක්ෂණයක් එකතු කර තිබේ. ඔරියන් SLS රොකට්ටුවේ ඉහළ වේදිකාවෙන් වෙන් වී කෙටි වේලාවකට පසු (interim cryogenic propulsion stage) එහි පාලනය ගගනගාමීන් අතට ගනු ලැබේ. ඒ අනුව, යානයට ළඟා වීම මෙන්ම එහි වේදිකාවෙන් ඉවත් වීම ද ඔවුන් විසින් සිදු කරනු ඇත.

NASA Moon mission 2024

මීට වසර 48 කට පමණ පෙර ඇපලෝ 17 න් පසු ගගනගාමීන් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට යවන පළමු මෙහෙයුම බවට ආටෙමිස් -3 පත්වනු ඇත.

ගොඩබෑමේ රථයේ සැලසුම් සකස් කිරීම සඳහා නාසා ආයතනය සමාගම් කීපයකට ඩොලර් මිලියන 967 ක් ලබා දී තිබේ.

දශකයේ අවසානභාගය වන විට, ‘ආටෙමිස් බේස්’ නමින් මිනිසුන් සඳහා කඳවුරක් ස්ථාපිත කරන ලෙස නාසා ආයතනයට ඉල්ලීම් ලැබී තිබේ. චන්ද්‍රයා පිළිබඳ දීර්ඝ කාලීන ගවේෂණ කිරීම සඳහා අවශ්‍යය පහසුකම් ද මෙම කඳවුරට ඇතුළත් වනු ඇත.

ආටෙමිස් ක්‍රියාන්විතය හා සසඳන විට, 1960 සහ 70 දශකවල ඇපලෝ වැඩසටහනට ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වැය විය.

Read more

Local News