කඩා වැටුණු බූවැලිකඩ පස් මහල් නිවසේ අයිතිකරු අත්අඩංගුවට

Share

පසුගියදා මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

අපරාධ චෝදනා යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.

පසුගිය 20 වනදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත එම සිදුවීමට මුල් වූ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය.

සැකකරු අද පස්වරුවේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News