පහසු මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක්

Share

මෙරට පොල් මිල ඉහළ යාමට විසඳුමක් ලෙස ප්‍රධාන නගර ආශ්‍රිතව පාරිභෝගිකයින්ට පහසු මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පොල් , කිතුල් , තල් , රබර් වගා ප්‍රවර්ධන සහ අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

සතොස අලෙවි සැල් ආශ්‍රිතව ලොරි මගින් ‍පොල් අලෙවි කිරීමට කටයුතු කරන බව එහි ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා සඳහන් කළේය.

හෝමාගම , පිළියන්දල , හොරණ , මහනුවර , නුවරඑළිය, ගාල්ල ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව රුපියල් 60ත් 70ත් අතර මිලකට පොල් අලෙවි කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා පැවසීය.

ඔහු පැවසුවේ අමාත්‍යාංශයට අයත් හලාවත සහ කුරුණැගල වැවිලි සමාගම් සතු වතුවලින් නෙලා ගන්නා පොල් මෙලෙස අලෙවි කරන බවයි.

මේ අතර පොල් මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන තාවකාලිකව පොල් වෙන්දේසිය අත්හිටුවීමට පියවර ගත් බව තිස්ස හේවාතාරණ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව සති දෙකක කාලයක් සඳහා මෙලෙස පොල් වෙන්දේසිය නතර කර තිබේ.

ලබන වසරේ මුල් කාල සීමාව වනවිට වෙළෙඳපොළේ පොල් මිල අඩුවනු ඇති බව පොල් , කිතුල්, තල් , රබර් වගා ප්‍රවර්ධන සහ අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ පුරෝකථනයයි.

Read more

Local News