මහනුවර පස්මහල් ගොඩනැගිල්ල : සීසීටීවි දර්ශන මක දැමු බවට සැකයක්

Share

සැප්තැම්බර් 20 වනදා මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිළමේ යළි ඔක්තොම්බර් මස 27 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (13) නියෝග කළේය.

 

බිළිදු දරුවෙකු ඇතුළු තිදෙනකුට මරණයට පත්වූ සිදුවීමක් බැවින් කරුණු ස්වාධීනව විමර්ශනය කිරිම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනිම පිණිස සැකකරු නැවත බන්ධනාගාරගත කරන බව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි පවසා තිබේ.

ඉදිරි නඩු දිනයේදි මරණයට පත්වූවන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ ව අවධානය යොමුකිරීමටත් අදාළ නඩුව මහාධිකරණය වෙත යොමුකිරීම සඳහා වන හැකියාව පිළිබඳ ව සලකා බලන බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

නොසැලිකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ නොසැලකිලිමත් ක්‍රියාවන් මත නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා (298 සහ 261) පොලීසිය සැකකරුට එරෙහිව මහනුවර පොලීසිය මගින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා විභාග කෙරුණු අතර එහිදී සැකකරුව දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබියදී නිවසේ හිමිකරු එම සැළසුම් වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ක් ඉදිකර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බව පරීක්ෂණ මගින් හෙළිවූ බවත් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් මහනුවර පොලීසියේ නිළධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

යාබද නිවෙස්වල මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාව සහිත CCTV දර්ශන මකා දමා ඇති බවට සැක මතුව ඇති බවද පොලීසිය පැවසීය.

Read more

Local News