ක්ෂේත්‍ර 55ක් සඳහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ

Share

රට තුල පවතින කොරෝනා තෙවන අවදානම් මට්ටමේදී ආරක්ෂාවෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

 

ඒ අනුව, තුන් වන අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසාතැබිය යුතුය.

මහජන රැස්වීම්, එළිමහන් උත්සව, ගෘහස්ථ උත්සව ආදිය සම්පූර්ණයෙන් තහනම්වන අතර බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට ඒමද තහනම් කෙරේ.

පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, අවන්හල්, බේකරි, හෝටල් සහ විවේකාගාර, සුපිරි වෙළෙඳසැල්, සාප්පු සංකීර්ණ, විවෘත වෙළෙඳපොළ, ආර්ථික මධ්‍යස්ථාන, කොණ්ඩා සැකසුම් ස්ථාන, ව්‍යායාම මධ්‍යස්ථාන, රෙදි සේදුම් ස්ථාන, ඇඳුම් මසන ස්ථාන හා මූල්‍යආයතන ආදිය එහි මුළු ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක් දක්වා  පමණක් පුද්ගලයන් රැස්වන ආකාරයෙන් පවත්වාගෙන යා හැකිය.

සෑම පූජනීය ස්ථානයකම පුද්ගල සහභාගිත්වය එකවරකට පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සීමා කළ යුතු වේ.

අවංගල්‍ය උත්සවයකට උපරිම පුද්ගලයන් 25 කට පමණක් සහභාගිවීමට අවසර හිමිවන අතර මංගල උත්සවයකට සහභාගි කරගත හැක්කේ උපරිම අමුත්තන් 50 දෙනෙකු පමණය.

කෙසේ වෙතත් රජයේ කාර්යාල, රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධහල්, රසායනාගාර, පෞද්ගලික අංශයේ කාර්යාල ආයතන, ඉදිකිරීම් ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අවම සේවක සංඛ්‍යාවක් සමඟ පවත්වාගෙන යා හැකිය.

එමෙන්ම මධ්‍යසාර අලෙවිසැල්, ආහාර පිටතට රැගෙන යාම සිදුකරන අවන්හල් හා කෘෂිකාර්මික ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් මත පවත්වාගෙන යා හැකිය.

බස් රථ හා දුම්රිය ආසන ධාරිතාවෙන් 75% ක් දක්වා මගීන් ප්‍රවාහනය කළ හැකිවන අතර වෙනත් වාහනවල මගී සංඛ්‍යාව එහි ආසන ගණනින් 50% සීමාකළ යුතුය.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය මීටර එක හමාරක් ලෙස පවත්වාගැනීමටද මින් නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

Read more

Local News