ඉදිරි දින කිහිපයේ දිවයිනේ මුහුදු ප්‍රදේශවල කාලගුණය වෙනස් වෙයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත.

ඌව, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.