මේ රටේ අනාගතය අපි භාරගන්න සූදානම් : විපක්ෂ නායක

Share

“තමන්ට පෙර රට කියලා පපුවට ගහගත්ත සමහර පාලකයෝ ජනතාවට පෙර එන්නත ගහගෙන” තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

 

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගියදා දෙහිවල සරණංකර මාවතේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ ජනතාව අමතමින්ය.

එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා වැඩ්දුරටත් සදහන් කළේ ” හිතාදර මිත්‍රවරුනි අද අපේ රටේ හැම අතකින්ම බොහොම බරපතල තත්වයක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක්. අද කඩා වැටෙන ආර්ථිකයක් අපේ රටේ තියෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෝවිඩ් නිසා ප්රශ්න ගැටලු රාශියක් ඉස්මතු වෙලා තිබෙනවා. ඒ වගේම සමාජයීය ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ ප්‍රශ්න සියල්ලක්ම මැද රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා යම්කිසි සහනයක්. යම්කිසි අනාගතයක්. මේ වන විට අන්ධකාරයෙන් පිරිච්ච රටක් තිබෙන්නේ. රටේ සියලු දෙනාගේම බලාපොරොත්තුව තමයි කවදා ද ආලෝකයක් නිර්මාණය වෙන්නේ, කවදද අනාගතයක් නිර්මාණය වෙන්නේ,කවදද පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නේ කියන එක. විශේෂයෙන්ම මම ඔබතුමන්ලා ට කියන්න කැමතියි “මේ රටේ අනාගතය අපි භාරගන්නට සූදානම්” අනාගතය පමණක් නෙවෙයි ”වර්තමානයත් අපි භාරගන්නට සූදානම්”. මේ රටේ ප්‍රශ්න විසඳන්නට අපි සතුව නුතනවාදී ,ප්‍රගතිශීලී ,විධිමත් ,ශක්තිමත් විසඳුම් රාශියක් තිබෙනවා.

ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒක අමාරු කර්තව්‍යක්. නමුත් අමාරු දේ කරන්නට නිසි නායකත්වයක් ,නිසි ශක්තියක්,නිසි හැකියාවක් තියෙන්න ඕන.අපිට ඒ සියල්ලක් ම තිබෙනවා. වර්තමානයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද ජන සමාජය හැම තැනක්ම කැළඹිලා. වියත් ආකාරයට රට පාලනය කරනවා කිව්වට අද රටේ සිදුවන්නේ අවිධිමත් පාලනයක්. සැලැස්මක් නැති පාලනයක්. දර්ශනයක් ගමනක් නැති පාලනයක්. දැන් තමුන්නාන්සේලාට බොහොම පැහැදිලිව පේනවා ඇති අර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ වගේ කොච්චර දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් තිබුනත්, යුධ දෙහෙකට මුහුණදෙන්න තිබුනත් දරුවන්ට කලට වේලාවට නිල ඇඳුම දිවා ආහාරය ලැබුණා. දැන් නිල ඇඳුම වත් බෙදා ගන්නට බැරි රජයක් තමයි අද රටේ තියෙන්නෙ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන්නු නිල ඇඳුම් වැඩසටහන වත් කරගන්නට බැරි ආණ්ඩුවක් කොහොමද මේ රටේ ලක්ෂ 220 ක ට හොඳ අනාගතයක් උදා කරන්නේ කියන එක ගැන බරපතළ ගැටලු තිබෙනවා. මිත්‍රවරුනි වේදිකාවක් වේදිකාවක් පාසා මැතිවරණ කාලෙට අපිට අහන්නට ලැබෙන දේ තමයි ” තමන්ට පෙර රට, තමන්ට පෙර ජනතාව ” . මේ ඔක්කොම හැබැයි මැතිවරණ කාලෙට. හැබැයි බලයට පත්වෙලා රට උවදුරකට මුහුණ දෙනකොට “රටට පෙර තමන්, ජනතාවට පෙර තමන් “. ඔන්න ඕක තමයි අද රටේ තිබෙන කෝවිඩ් එන්නත් ප්‍රතිපත්තිය. ලොකුවට කතා කරනවා රට ස්වංපෝෂිත කරන්නට ඕන, රට රැක ගන්නට ඕන,ජනතාවගේ ආයුකාලය වැඩි කරන්නට ඕන, මේ ඔක්කොම ලොකුවට කතා කරනවා. දීර්ඝායු වේවා කියලා කියනවා ජනතාවට. හැබැයි කෝවිඩ් එන්නත රටේ ජනතාවට ලබා දෙන නිසි ක්‍රමවේදයක් ,නිසි vaccine protocol එකක් නැහැ. නිසි එන්නත් ක්‍රමවේදයක් නෑ. මේ ප්‍රශ්නය මන් දැන් කාලයක් තිස්සේ කියනවා.

තවම ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන නෑ. දැන් ඡන්දෙ කාලෙට කියනවනේ තමන්ට පෙර රට ,තමන්ට පෙර ජනතාව කියලා. හැබැයි ඒ ප්රතිපත්තිය කෝවිඩ් එන්නතට අදාල නෑ. කෝවිඩ් එන්නත ගැන කතා කරනකොට රටට පෙර තමන් ,ජනතාවට පෙර තමන්. ඒ නිසා තමයි හිතු හිතු මතයට එන්නත ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් පහුගිය දවසක අපිටත් කෙටි දුරකථන පණිවිඩයක්,ඒ වගේම පාර්ලිමේන්තුවෙන් දුරකථනයෙන් ආමන්ත්‍රණය කරලා කිව්වා , “අන්න එන්නත ලෑස්තියි ,යන්න ආමි හොස්පිටල් එකට එන්නත ගහගන්න” කියලා. කාටද මේ කියන්නේ ,මන්ත්‍රීවරුන්ට. හැබැයි ඒ පණිවිඩය ඉස්සෙල්ලා දෙන්න ඕනේ ජනතාවට. මන්ත්‍රීවරුන්ට නෙමෙයි. ජනතාවගෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු අද කෝවිඩ් එන්නත් ප්‍රමුඛතා ලේඛණයේ ඉහළටම ඇවිල්ල තියෙනව. මන්ත්‍රීවරු ඉහලට, ජනතාව පස්සට. මම පුද්ගලිකව තීන්දුවක් අරන් තිබෙනවා , “මේක මගේ පුද්ගලික තීන්දුවක්” රට දියුණු කරන්නට, රට ආරක්ෂා කරන්නට, රට රකින්නට මමත් වේදිකාවක් වේදිකාවක් පාසා කිව්ව පුද්ගලයෙක්. මම කිව්වා බොහොම පැහැදිලිව මට පෙර මම රටේ ජනතාවට තැන දෙනවා කියලා. අද මම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉෂ්ට කරනවා.

මම රටේ ජනතාවට ,අඩුම ගණනේ මේ ලක්ෂ 220 ට ඒ එන්නත් ටික ඇනවුම් කරලා ,මේ එන්නත් සියල්ලක්ම මේ රටේ ගොඩබාන තෙක් මම නම් එන්නත ලබා ගන්නට කිසිසේත්ම සූදානමක් නැහැ. ඒ මොකද මම තරයේ විශ්වාස කරනවා තමන්ට පෙර රට කියන ප්‍රතිපත්තිය මැතිවරණ කාලෙටත් වලංගුයි අදටත් වලංගුයි කියලා. අන්න ඒ ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කරන්නේ. ඒකෙම තමුන්නාන්සේලාට පුළුවන් හොඳ පැහැදිලි අවබෝධයක් ලබාගන්න අපි කොයි වගේ ගමනක් ද මේ ක්රියාත්මක කරන්නේ කියලා. සමගි ජන බලවේගය කියන්නේ අලුත් අදහස් වලින් අදහස්වලින් පරිපූර්ණ වූ සැබැවින්ම රටත් ජනතාවත් පෙරටු කරගෙන ඉදිරියට යන ගමනක්. ඒ ගමන තුළ සැබෑ ජනතා ජයග්‍රහණය ,ඒ වගේම රටේ ජයග්‍රහණය තහවුරු කරන්නට අපි හැම විටම ඇප කැප වෙනවා” යනුවෙනි.

Read more

Local News