ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ (Air Show) සමාප්තිය ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී පැවැත්විණි.
දින තුනක් පුරා පැවැති මෙම ගුවන් සංදර්ශනය පසුගිය 03 වැනිදා ආරම්භ විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාව එක්ව සංදර්ශනය සංවිධානය කළේය.
සමාප්ති උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පිළිගනු ලැබුවේය. 1951 මාර්තු 02 වැනි දින රාජකීය ගුවන් හමුදාව ලෙස ස්ථාපිත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය.
සුරකිමු ලකඹර තේමාව සිය මුඛ්‍ය පරමාර්ථය කොටගත් ගුවන් හමුදාව තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නේය. ගුවන් සංදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.