සංස්කෘතිය වෙනුවෙන් හීලෑ වූ අලි ඇතුන් ගහනයක් රටට අවශ්‍ය බව ජනපති කියයි

Share

පෙරහර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ වූ අලි ඇතුන් ගහනයක් රටට අවශ්‍ය බව මා දැඩි සේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ පෙරහර මංගල්‍ය සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබඳ මහා සංඝරත්නය සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (12) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දීය. හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක් වුහ.

හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමඟ ද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. මෙම ගැටලුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළහ.

පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි. බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම ආණ්ඩුව ද බැඳී සිටින බව ද උන්වහන්සේලා පෙන්වා දුන්හ.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍යය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි වීමෙන් මතුව ඇති ගැටලු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතිණි. දැන් එය 107 කි. ඉන් 80 ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා සිටිති. පෙරහර සඳහා අලි ඇතුන්ගේ විශාල අඩුවක් පවතින බව අනාවරණය කෙරිණ.

පෙරහර චාරිකාවට සුදුසු අලියකු හෝ ඇතකු පුහුණු කිරීමට වසර 3 ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලි ඇතුන් හිමිකරුවෝ පෙන්වා දුන්හ.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබේ. මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායයක්ව පවතින බව මහා සංඝරත්නය සඳහන් කළහ.

අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු බවත් ඔවුන් මිය ගිය පසු පාංශකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී, තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන, කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හීලෑ අලිඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානායේ සභාපති නිලංග දෑල මහත්වරු සහ රේඛිය අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක් වූහ.

Read more

Local News