ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා (06) මේ වන විට තලෛමන්නාරම නාවික හමුදා භාරයේ සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.




