රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පුද්ගලයින්ගෙන් මුදල් අය කර පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබූ අතර, ඒ අනුව 2022.08.29 දින මෙම විමර්ශනය මෙහෙයවා ඇත.
රාජගිරිය, මැද වැලිකඩ පාර, 21/1/1 ලිපිනයේ මෙම ආයතනය පවත්වාගෙන ගිය සැකකාරිය එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්ර 23ක් හා රුමේනියා රැකියා අයදුම්පත් රැසක්ද අත්අඩංගුවට ගන්නා ලදී.
රුමේනියා රැකියා ලබාදෙන බව පවසා මෙම කාන්තාව රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවටද තොරතුරු හෙළිවිය. අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මෙවැනි ක්රියා හේතුවෙන් අධිකරණය මගින් ඇප නියම වී ඇති අයෙකු බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවි ඇත.



