රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට අවධානය

Share

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙන් මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඒ අනුව, රුමේනියාව තුළ රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට අදාළ අභියෝග සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් කමිටුව විමසා සිටියේය. මේ වන විට රුමේනියාවේ සැලකිය යුතු ශ්‍රී ලාංකික ජනගහණයක් ජීවත් වන බවත් ඔවුන් ගැන සොයා බැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි නොමැති වීම නිසා එම ජනතාව බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත් කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ රුමේනියාවේ තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සහ සේවක සංඛ්‍යාව දැනටමත් අනුමත කර ඇති අතර තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රමාදයකින් තොරව පියවර ගන්නා ලෙස කමිටුව පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read more

Local News