2024 ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලිය සාර්ථකව නිමාවෙයි

Share

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ, සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ප්‍රථම ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලිය සාර්ථකව ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරු පරිශ්‍රයේදී නිමාවට පත් විය.

වෘත්තීය සහ ආධුනික ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වූ අතර, ලෝක සූපවේදීන්ගේ සංගමයේ (WACS) මාර්ගෝපදේශයන්ට අනුකූලව විවෘත තරගයක් ලෙස පවත්වන ලද මෙම තරගාවලිය සදහා ප්‍රථම වතාවට ප්‍රාදේශීය හෝටල්වල වෘත්තිකයන්ට ද තරග වැදීමට අවස්ථාව ලබා දී තිබුනි.

ආහාර ප්‍රදර්ශන , සජීවීව ආහාර පිසීම සහ බාර්ටෙන්ඩින් යන තරග අංශවලින් තරගකරුවන් 200 කට ආසන්න පිරිසක් මෙම තරගාවලිය සදහා තරග වැදුනු අතර, ජයග්‍රාහකයින් හට ත්‍යාග සහ සහතිකපත් මෙන්ම ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන 2025 සූපශාස්ත්‍ර සහ ආහාර ප්‍රදර්ශණ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ හරහා පුද්ගලයින්ගේ සූපශාස්ත්‍රය පිලිබද ඇති කුසලතා, ශිල්පීය ක්‍රම සහ දැනුම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමි විය.

2024 ගුවන් හමුදා අන්තර් ඒකක සූපශාස්ත්‍ර තරගාවලියේ හොදම කදවුරට හිමි සම්මානය ගුවන් හමුදා සීගිරිය කදවුර දිනාගත් අතර, හොදම සූපවේදියාට හිමි සම්මානය ගුවන් හමුදා කටුනායක කදවුරේ සැරයන් හේරත් විසින් දිනා ගන්නා ලදි.

සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින සීගිරිය ප්‍රදේශයේ හෝටල් කළමණාකරණ ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් දක්වන තරුණ තරුණියන් හට අනාගත රැකියා බලාපොරොත්තු සථල කරගැනීමට අවශ්‍ය පාඨමාලා හැදෑරීම කොළඹ ප්‍රදේශයට පැමින සිදුකිරීම දුෂ්කර බැවින් එම දුෂ්කරතා මගහැරීම සදහා ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සීගිරිය කදවුර මගින් පවත්වනු ලබන හෝටල් කළමණාකරණ පුහුණු පාඨමාලාව NVQ අදියර 04 යටතේ සහනදායී මිලට හැදෑරීමට අවස්ථාව සලසා දීම මෙහි කැපී පෙනුනු විශේෂ අවස්ථාවක් විය.

මෙම තරගාවලිය අවසානයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ලංකා සූපවේදී සංසදයේ සභාපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

Read more

Local News