ධීවර ජනතාවට ඉන්ධන මිල සහනයක්

Share

ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට මෙවර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

පසුගිය දිනවල ඉන්ධන මිල අඩු කිරීම ධීවර ජනතාවට සහනක් වී ඇති බවත් ධීවර කර්මාන්තය යම්කිසි තැනකට නගා සිටුවීමට මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව සහනාධාරය වෙනුවෙන් මාස 06ක කාලයක් සඳහා රුපියල් මිලියන 5.5ක් වෙන් කර ඇති බව කී අමාත්‍යවරයා , උපරිම ලීටර් ලක්ෂ 03කට යටත්ව ඩීසල් ලීටර 1ක් සඳහා රුපියල් 25ක සහනයක් ලබා දී ඇති බවත් වැඩි වශයෙන් එම සහනය ගැඹුරු මුහුදේ යන බෝට්ටු සඳහා බලපානු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම රුපියල් 9375 ක උපරිමයකට යටත්ව භූමිතෙල් සඳහා දිනකට ලීටර් 15ක් බැගින් දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 25ක සහනයක් භූමිතෙල් සඳහා ලබා දීමට අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකට යටත්ව මෙම සහනයන් ලබා දෙන බවත් මිල සූත්‍රයට අනුව මෙම මිල උච්චාවචනය විය හැකි බවත් ඩීසල්වලින් 7.5% ක සහ භූමිතෙල්වලින් 12.5%ක සහනයක් ධිවර ජනතාවට ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News