සහකාර පොලිස් අධිකාරී උසස්වීම්වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

Share

2020 වසරේ සහකාර පොලිස් අධිකාරී (ASP) ධූර සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ.

පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ රාජ්‍ය සේවා කොමිසම විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලදී අපේක්ෂකයින් ලබාගත් ලකුණු පසුව වෙනස් කර ඇති බවත්, එමඟින් සුදුසුකම් සපුරා තිබූ තමන්ට අගතියක් සිදු වූ බවත්ය. කෙසේ වෙතත්, එම ලකුණු වෙනස් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ඉදිරිපත් කළ පැහැදිලි කිරීම් කෙරෙහි අධිකරණය සෑහීමකට පත් වි තිබෙනවා. ඒ අනුව, අදාළ උසස්වීම් ක්‍රියාවලිය නීත්‍යානුකූල බවත්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, කිසිදු ගාස්තුවකට යටත් නොවී එම පෙත්සම් ඉවත දැමීමටයි නියෝග කර තිබුණේ.

Read more

Local News