අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය ආරම්භ වී ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයෙකු අවුරුදු 09කට පසු චීනයට යන ප්‍රථම අවස්ථාව මෙයයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රථම වතාවට ජනාධිපති වූ අවස්ථාවේදීත් එනම් 2017 වර්ෂයේදීත් චීනයේ සංචාරය කර ඇති අතර මෙය දෙවැනි අවස්ථාවයි. ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයකට අනුව චීන නිල සංචාරයට එක් ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව මහත් හරසරින් පිළිගනු ලැබූ බව සියලූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. ඒසේ ම මෑත ඉතිහාසයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය සංචාර සැලකීමේදී මාධ්‍යයේ වැඩි ම අවධානය හිමි ව ඇත්තේ මෙම චීන නිල සංචාරයට බව සඳහන් කළ යුතුයි.
එයට හේතුව ලෙස බොහෝ මාධ්‍ය දක්වා ඇත්තේ ලෝකයේ බලවත් ම රාජ්‍ය දෙකේ නායකයන් මුහුණට මුහුණ හමුව කරනු ලබන සාකච්ඡා සමස්ත ලෝක ආර්ථිකයට ම තීරණාත්මක වනු ඇති බවයි. මෙම හමුව සත්‍ය වශයෙන් ම සමස්ත ගෝලීය ආර්ථිකයට සහ ආරක්ෂාවට මෙතරම් වැදගත් වනුයේ මන්ද යන්න විමසා බලමු.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම චීන සංචාරයෙන් ලෝකයට සිදු විය හැකි ධනාත්මක බලපෑම් මොනවා ද ?
අංක එකට මේ ගමන වැදගත් වනුයේ මෙම රාජ්‍ය නායකයන් දෙදෙනා මුහුණට මුහුණ මුණගැසී කරන සාකච්ඡාවක් වීම නිසයි. එහිලා සිදුවන රාජ්‍යතාන්ත්ත්‍රික සන්නිවේදනය තුළ සෘජු සාකච්ඡා හේතුවෙන් අනිවාර්යයෙන් ම ආතතියන් පහව යනු ඇත. මේ මුණගැසීම තුළ සිදු වන සෘජු සාකච්ඡා යනු සමස්ත ගෝලීය ආර්ථිකයේ ම වැඩි ම පංගුව හිමි රටවල් දෙක අතර සාකච්ඡාවයි. ලෝකයේ විශාලතම ආර්ථිකයක් හිමි රටවල් දෙකේ රාජ්‍ය නායකයන්ගේ සෘජු සාකච්ඡා ගොලීය ආර්ථිකයට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.
මෙම රාජ්‍ය නායක හමුව තුළ එකඟ නොවීම් බොහෝ පවතිනු ඇත යන්න ද ලියා තැබිය යුතුයි. එහෙත් මුහුණට මුහුණ මුණගැසීම තුළ සැබෑවට ම වරදවා වටහා ගැනීම්වල ඇති අවදානම අඩු වී රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනය ඉහළ යනු ඇතැයි දැඩි සේ විශ්වාස කළ හැකියි.
වසර 09කට පසු සිදුවන මේ රාජ්‍යතාන්ත්්‍රික මුණගැසීම තුළ බොහෝ සුබ සිහින දැකීමට ලෝකයට හැකි වනු ඇත. ඊට කදිම සාක්ෂියක් ලෙස පසුගිය සරත් සෘතුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් දකුණු කොරියාවේදී හමු වූ අවස්ථාව මතක් කළ යුතුය. එදා මේ නායකයන් දෙදෙනාගේ හමුවත් සමඟ වෙළඳ යුද්ධයේ උණුසුම අඩු වූ බව අපි දනිමු. එසේ ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිහිප අවස්ථාවක ම කළ ප්‍රකාශයක් වූයේ,
“ජනාධිපති ෂී ජින්පින් මට මහත් ඉහළින් සැලකුවා. මා අවසන් වරට චීනයට ගිය අවස්ථාවේ ඔහු මා පිළිගෙන ඉහළ ම සත්කාර කරනු ලැබුවා යනුවෙනුයි.” මෙවර සංචාරය හමුවේ ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශයද අතිශය වැදගත්.
“චීන ජනාධිපති ශ්‍රේෂඨ නායකයෙක් ” යනුවෙන් අද ට්‍රම්ප් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව මෙවර චීනය අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ලෝකයේ රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළ ම ගෞරවය පිරිනමන ආකාරය අපි දකිමින් සිටිමු. එසේ ම ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමෙරිකානු ආයතනික විධායකයන් රැසක් ම මේ චීන සංචාරයට එක් ව තිබීම ගෝලීය ආර්ථිකයේ ඉදිරි ගමනට අනිවාර්ය රුකුලක් වනු ඇත. මේ අතර ඇපල් සමාගමේ ටීම් කූක් සහ ටෙස්ලා සමාගමේ එලොන් මස්ක් ද සිටීම විශේෂයි.
විශේෂයෙන් මේ සංචාරය තුළ එලඹෙන ගිවිසුම් හේතුවෙන් අමෙරිකාව සහ චීනය අතර වෙළඳාම අනාගතයේදී බොහෝ දුරට සමතුලිත වීම සිදුවිය හැකි බව ද සටහන් කරනු කැමැත්තෙමි. එය අනාගත ගෝලීය ආර්ථිකයට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.
මෙම තුන්දින සංචාරය තුළ සිදුවිය හැකි සෘජු ආයෝජන හා ගිවිසුම් හුදෙක්ම ඇමෙරිකාවට හෝ චීනයට පමණක් යහපත සලසන්නේ නැති බව අපි දනිමු. ලෝක ආර්ථිකයේ විශාලතම පංගු දෙකේ කොටස්කරුවන් ගනු ලබන තීරණ ඉන් ඔබ්බට ගලා යාම අනිවාර්යය සාධකයකි.
විශේෂයෙන් ඇමෙරිකානු ජනපති මහත් හරසරින් පිළිගත් චීන ජනාධිපති ෂි ජින්පින් කළ ප්‍රකාශය මේ මොහොත වන විටත් ලෝකයේ දැඩි අවධානයට යොමු ව තිබේ.
“චීනය සහ ඇමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු” බව චීන ජනපති ෂී ජින්පින් අවධාරණය කර ඇත. සැබෑවට ම මේ ප්‍රකාශයත් සමඟ චීනය සහ ඇමෙරිකාව අතර අලුත් සබඳතා ආකෘතියක් බිහිවනු ඇතැයි විශ්වාස කළ හැකියි. මේ රටවල් දෙකම එකතු වීම තුළ අනාගත සබඳතා අතිශය සුන්දර සිත්ගන්නා සුළු සේ ම මහත් ඵලදායි වීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ චීන වෙළඳ මණ්ඩලයක් පිළිබඳ කථිකාව ද රාජ්‍යතාන්ත්්‍රික සංචාරය සමඟ කරලියට පැමිණ තිබේ. එහෙත් එවැනි ආයතනයක් ක්ෂණික ව පිහිටුවිය නොහැකියි. නමුත් මෙම සංචාරය තුළ ඒ සඳහා වඩාත් ස්ථිර අඩිතාලමක් වැටෙනු ඇතැයි අපට විශ්වාස කළ හැකියි.
මේ සංචාරය තුළ අතිරේක සෝයාබෝංචි මිල දී ගැනීමේ සිට බෝයින් ගුවන්යානා මිල දී ගැනීම දක්වා වූ පුළුල් පරාසයක වෙළඳ ගිවිසුම් ඇති වනු ඇත. එසේ ම අමෙරිකාවට අවශ්‍ය චීනය සතු අතිශය දුර්ලභ ඛනිජ වර්ග ලබා ගැනීම සඳහා වූ දෑ ද සාකච්ඡා වනු ඇත. එසේ ම චීනය සහ අමෙරිකාව අතර තරඟකාරීත්වය මූලික ලක්ෂණය ලෙස පවතිනු ඇති බව මාගේ විශ්වාසයයි.
විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය, කාර්මික නිෂ්පාදන, කෘෂි නිෂ්පාදන ඉන්දු පැසිෆික් කලාපයේ මිලිටරි බලපෑම්, සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ රටවල් දෙකේ බලපෑම් ආදී බොහෝ ක්ෂේත්‍රවල තරඟකාරීත්වය දිගට ම පවතිනු ඇත. අමෙරිකාව සහ චීනය අතර මේ තරඟකාරීත්වය ලෝක ආර්ථික සමතුලිත බව සඳහා අත්‍යවශ්‍ය වනු ඇතැයි මගේ විශ්වාසයයි. ඒ එදිරිවාදිකම්වලට වඩා. ”තරඟය” සුභදායි බව අමුතුවෙන් සටහන් කළ යුතු නැති නිසාවෙනි.
මේ සංචාරය තුළ ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍ර ගැන සාකච්ඡාවන් සේ ම ඉතා ම සංවේදී කාරණය විය හැක්කේ තායිවානය පිළිබඳ ප්‍රශ්නයයි. මෙය අතිශය සංකීර්ණ හා භූ දේශපාලනික ගැටලූවකි. මෙහිදී එක් චීන ප්‍රතිපත්තියක් හෙවත් ධබැ ජයසබ් චදකසජහ පිළිගන්නා අතර ම අවාසනාවකට අමෙරිකාව තායිවානයට බොහෝ දෑ ලබා දෙන බව රහසක් නෙවෙයි. විශේෂයෙන් ම අමෙරිකාව තායිවානයට ලබා දෙන ආරක්ෂණ සහ දේශපාලන සහයෝගය චීනය සහ අමෙරිකානු සබඳතාවල රතු ඉර මායිම් කරනු ඇත.
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙම සංචාරය තුළ සිදු වන සියලූ ප්‍රකාශයන්හිදී තායිවානය සම්බන්ධ රතු ඉර මායිම් කරගත යුතු ව තිබේ. බැලූ බැල්මට ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් පිළිබඳව නිරන්තරයෙන් දක්වා ඇත්තේ ප්‍රකාශ කර ඇත්තේ අතිශය සුහදශිලී, ආචාර සම්පන්න අදහස්ය.
එබැවින් මෙම හමුව අතිශය මිත්්‍රශීලි, අර්ථවත් හමුවක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.කෙසේ වෙතත් තරඟකාරීත්වය ලෝකය ඉදිරියට ගෙන යන බව අප පිළිගත යුතුයි. එහිලා ඇමෙරිකාව සහ චීනය අතර තරඟය ලෝක ආර්ථික වර්ධනයට, දියුණුවට අත්‍යවශ්‍ය බව මාගේ විශ්වාසයයි.
මේ තරඟය වඩාත් අර්ථාන්විත කරගත හැක්කේ තරඟය සමග සහයෝගීතාව ද එකට පවත්වාගෙන යාම තුළ බව අවිවාදාත්මකයි. එහිලා මෙම රාජ්‍යය නායකයන් තම අභිමානය ද පවත්වාගෙන යන අතර තුර එකිනෙකාට දක්වන සැබෑ ගෞරවයේ ප්‍රමාණය ද, ඔවුන් කතා කරන සෑම චචනයක ම එකිනෙකා කෙරෙහි ඇති ගෞරවනීය බව ද අතිශය වැදගත් වනු නොඅනුමානයි. එසේ ම තරඟකාරීත්වය සහ සහයෝගිතාව එකිනෙකා හා බැඳි ගමන් කරන්නේ නම් ඒ තුළින් මනා විශ්වාසයක් සේ ම මහා පරිමාණ ජයග්‍රණ ද දිනාගත හැකිය. එය චීනයේ සේ ම අමෙරිකාවේ ද අනාගතය කෙරෙහි වඩාත් ප්‍රභල ලෙස බලපානු ඇත.
එහි අවසන් කොන්දේසිය විය යුත්තේ
”අපි එකම ලෝකයක් බෙදා ගනිමින් තරඟකාරීත්වය තුළ සහයෝගයෙන් දිනමු ” යන්න විය යුතු බව අපගේ අදහසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් හා ෂී ජින්පින් හමුව එහිලා අනාගතයට සුභ පණිවුඩයක් ලබා දෙන අවස්ථාවක් බව විශ්වාස කළ හැකියි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලාල් හේමන්ත මාවලගේ
වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය



