ඇමරිකාවේ ණය ඉහළට

Share

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව එරට ජාතික ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා තිබේ. අපේක්ෂිත කාලයට මාස කිහිපයකට පෙර මෙම අගය වාර්තා වී ඇතැයි ද සඳහන් වේ.  මහජනතාව සතු ණය සහ රජය අතර ඇති ණය පිළිවෙලින් ඩොලර් ට්‍රිලියන 32.266ක් සහ ඩොලර් ට්‍රිලියන 7.781ක් බව අදාළ දත්තවලින් පෙනී යයි. ඒ අනුව සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40.047ක් වේ. 
ෆෙඩරල් රජය වසර ගණනාවක් තිස්සේ සිය බදු ආදායමට සාපේක්ෂව වැඩි මුදලක් වියදම් කර ඇත. මෙම අතිරික්ත වියදම් හේතුවෙන් නිර්මාණය වූ වාර්ෂික මූල්‍ය හිඟය පියවා ගැනීමට ණයට මුදල් ලබා ගැනීම මෙවැනි ජාතික ණය ප්‍රමාණයක් වාර්තා වීමට හේතු වී තිබේ. කොවිඩ්-19 වසංගතය වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන ගණනක් වෙන් කළ එරට රජය අනතුරුව බදු කප්පාදු සහ හමුදා වියදම් වැඩි කිරීමට පියවර ගත්තේය. එහි බලපෑමෙන් ෆෙඩරල් ණය ප්‍රමාණය වේගයෙන් වර්ධනය වූ අතර බැඳුම්කර වෙළඳපොලේ කනස්සල්ලට ද හේතු විය. එමෙන්ම ඉහළ ගිය පොලී ගෙවීම්, සමස්ත ණය ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට හේතුවක් වී ඇත.
මේ අතර 2026 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ ඇමරිකානු ෆෙඩරල් රජයේ මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 1.367කි. ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 713ක අගය ඉක්මවා යමින් ශුද්ධ පොලී ගෙවීම් ඩොලර් බිලියන 827ක් ලෙස වාර්තා වේ.  එය ඩොලර් ට්‍රිලියන 1.244ක සමාජ ආරක්ෂණ වියදම්වලට පමණක් දෙවැනි වීම විශේෂත්වයකි. සමස්තයක් වශයෙන් ඇමරිකානු ෆෙඩරල් රජයේ ණය වසර 4ක් ඇතුළත ඩොලර් ට්‍රිලියන 10කින් පමණ වැඩිවී ඇති අතර මෑත මාසවලදී එම වර්ධන වේගය තවදුරටත් ඉහළ ගොස් ඇත.

Read more

Local News