චීන – කැනඩා ආර්ථික සහයෝගීතාව නව මාවතකට

Share

චීනය සහ කැනඩාව අතර දෙවන උපායමාර්ගික ආර්ථික හා මූල්‍ය සංවාදය කැනඩාවේ වැන්කුවර් නුවරදී ඊයේ (09) පැවැත්විණ. ඒ, චීන උප අග්‍රාමාත්‍ය හ ලීෆෙං මහතා, කැනඩාවේ මුදල් අමාත්‍ය ෆිලිප් ෂැම්පේන් සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනින්දර් සිධූ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි.
දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මග පෙන්වීම යටතේ චීන – කැනඩා සබඳතා යහපත් අතට හැරී ඇති බව එහිදී ප්‍රකාශ කළ චීන උප අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දෙරට අතර ද්විපාර්ශ්වික හුවමාරු යළි නිසි මාවතකට පිවිස ඇති බවයි.
අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමිවන සහයෝගීතාව මත පදනම්ව කැනඩාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව ද එහිදී අවධාරණය කෙරිණ. විශේෂයෙන් ආර්ථික, වෙළඳ, මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමත්, මතභේද පසෙකලා පොදු එකඟතා මත කටයුතු කිරීමත් චීනයේ අපේක්ෂාව බව හ ලීෆෙං මහතා සඳහන් කළේය.
මේ අතර, චීනය සමග පවතින සබඳතා සඳහා කැනඩාව ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදෙන බව කැනඩා මුදල් අමාත්‍ය ෆිලිප් ෂැම්පේන් මහතා මෙහිදී පැවසීය.
කැනඩා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මනින්දර් සිධූ මහතා ද මෙහිදී අදහස් දක්වමින් අවධාරණය කළේ, චීනය සමග වෙළඳ හා ආර්ථික ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැනඩාව අපේක්ෂා කරන බවයි.

Read more

Local News