යුක්රේන යුද්ධයෙන් රුසියානුවන් 400,000කට අධික පිරිසක් මියගොස් ඇති බවට අනාවරණයක්

Share

රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භ කළ දා සිට මේ දක්වා යුද මෙහෙයුම්වලදී රුසියානුවන් 400,000කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. එරට රාජ්‍ය සංඛ්‍යාලේඛන ඒජන්සිය වන Rosstat වෙතින්. Cyber Partisans නම් බෙලරූස් විපක්ෂයට සම්බන්ධ හැකර් කණ්ඩායම සහ යුක්රේන හැකර් කණ්ඩායමක් වන Silent Crow විසින් ලබා ගත් දත්ත ඇසුරින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මරණ සහතික මිලියන 11කට අධික සංඛ්‍යාවක් ඇතුළත් මෙම දත්ත ගොනුවේ මියගිය පුද්ගලයන්ගේ වයස, පදිංචි ස්ථානය සහ මරණය සිදුවූ ස්ථානය පිළිබඳ තොරතුරු ද අන්තර්ගත වේ. පසුව එම දත්ත The Guardian ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ලබා දී ඇත.
එම දත්තවලට අනුව මරණ සහතික 412,576ක යුද්ධයට සම්බන්ධ මරණ බව පැහැදිලිව සඳහන් කර ඇත.
මෙම සංඛ්‍යාලේඛන මගින් යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට සිදුව ඇති මිනිස් ජීවිත හානිවල විශාලත්වය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වේ.
මේ අතර, රුසියා – ඇමරිකා – යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වීමට යුක්රේන නියෝජිත කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා වී ඇතැයි එරට ජනාධිපති Volodymyr Zelenskyy සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.

Read more

Local News