අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට SpaceX සමාගමට චන්ද්‍රිකා මිලියනයක් දියත් කිරීමට අනුමැතිය

Share

අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන (Data Centres) ඉදිකිරීමේ අරමුණින් පෘථිවි කක්ෂයට චන්ද්‍රිකා මිලියනයක් දියත් කිරීමට Elon Musk සතු SpaceX සමාගමට ඇමරිකානු නියාමන බලධාරීන් අනුමැතිය ලබා දී තිබේ. මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

Starmind ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රිකා මඟින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයට අදාළ දත්ත සැකසීමටත්, එම ප්‍රතිඵල නැවත පෘථිවියට යොමු කිරීමටත් සැලසුම් කර ඇත.

ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) පවසන්නේ මෙම ව්‍යාපෘතිය එරට කෘත්‍රිම බුද්ධි ආර්ථිකයේ වර්ධනයට සහාය වනු ඇති බවයි. 2033 නොවැම්බර් මාසය වන විට චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළ යුතු අතර, 2035 වන විට සියයට 10ක් සහ 2038 වන විට සියයට 50ක් කක්ෂගත කළ යුතු බවට ද කොන්දේසි පනවා තිබේ.

SpaceX සමාගම පවසන්නේ අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, පෘථිවියේ දත්ත මධ්‍යස්ථානවලට සාපේක්ෂව බලශක්ති හා පිරිවැය කාර්යක්ෂම විකල්පයක් විය හැකි බවයි. එහෙත් අභ්‍යවකාශයට උපකරණ යැවීමේ අධික පිරිවැය, අභ්‍යවකාශ සුන්බුන් සහ චන්ද්‍රිකා අතර ගැටුම් ඇතිවීමේ අවදානම පිළිබඳව විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

මේ අතර, අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේ සංකල්පය Google සහ Blue Origin වැනි සමාගම් ද අධ්‍යයනය කරමින් සිටී. AI තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉහළ යන පරිගණක බලශක්ති අවශ්‍යතාව සපුරාලීම මෙම නව සංකල්පයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

Read more

Local News