පසුගිය වසර තුනක කාලය තුළ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීමට රජය පියවර ගත් බවත් එල්.ටී.ටී.ඊ ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරින්ට හිමි සහන කඩිනමින් ලබාදීමට ක්‍රියාකර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා අද(08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ආබාධිත පොලිස් නිලධාරීන් මුහුණ දෙන බව කියන උසස් වීම් ප්‍රශ්න, විශ්‍රාම වැටුප් ප්‍රශ්න දීමනා ලබා ගැනීමේ ප්‍රශ්න සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම නිලධාරීන් සඳහා උසස් වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා, විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබාදීමට කටයුතු කර ඇතැයි ද පැවසී ය.
වසර 10ට අඩු සේවා කාලයක් හිමි අයට ද විශ්‍රාම වැටුපක් ලබාදීමට ක්‍රියා කෙරේ. වයස අවුරුදු 55 දක්වා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට වැටුප් හා දීමනා ලබාදීමටත් ක්‍රියා කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.