Home දේශීය පුවත් මත්පෙති සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

මත්පෙති සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

0
මත්පෙති සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

මත්පෙති සහ මත්ද්‍රව්‍ය රටතුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබීය.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අළෙවිකිරීම සහ මෙරටට රැගෙන ඒම පිළිබඳ නීති කෙතරම් ශක්තිමත් කර තිබුණ ද, දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව වාර්තා වී ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

අද බරපතළ සමාජ අභියෝගයක් බවට පත්ව ඇති මෙම ව්‍යසනයෙන් තරුණ පරපුර නිදහස් කර ගැනීම සඳහා සමාජයේ වගකිවයුතු සියලු පිරිස්වල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ වඩා තදින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී නිළධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලදී විදේශ රටවල සහයෝගය ලබාගනිමින් කටයුතු කිරීමට ද උපදෙස් දුන්නේය.

තමා සිදුකළ විදේශ සංචාර රැසකදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සඳහා සහය දැක්වීමට තමාට රටවල් රැසක රාජ්‍ය නායකයින් සහතික වී තිබෙන බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

එසේම පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉදිරියේදී වඩාත් පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දෙනු ලැබීය.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදෙමින් එම අංශ ශක්තිමත් කිරීමට රජයේ උපරිම වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා  කියා සිටියේය.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නීතිපති ජයන්ත ජයසූරිය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද, නාවික හමුදාපති රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here