නොසැලකිලිමත් ලෙස අපරික්ෂාකාරීව රිය පදවා බරපතළ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(19) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.
එහෙත් මෝසමක් ඉදිරිපත් කරමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ හෙට දින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටිම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.
ඒ අනුව විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර රණවක මහතා මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.



