ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 373ක්

Share

අද(13) දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 373ක් හඳුනා ගෙන තිබේ.

 

ඊයේ දිනයේ දී හඳුනාගැණුනු නව ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. අනෙක් සිව් දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 12,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සමග එහි සමස්ථ ආසාදිතයින් ගණන 12,226 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර ආසාදිතයින් 3106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ද සෙසු 9120 පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් ද වාර්තා වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇත.

තවද, ආසාදිතයින් 5022 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබ සන අතර සමස්ථ කොවිඩ් ආසාදිතයින්ගෙන් 10,652 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද දින UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 16ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරිමට කටයුතු සුදානම් කර තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ පුද්ගලයින් 2,845ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ දිනය තුළදී පීසීආර් පරීක්ෂණ 10,111ක් සිදුකර ඇති අතර, මේ වනවිට මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ප්‍රමාණය 637,122කි.

Read more

Local News