බඩඉරිඟු වගා ආශ්‍රිතව පැතිර යන සේනා දළඹුවන්

Share

මේ වන විට බඩඉරිඟු වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර, ගම්මිරිගස්වැව, වන්නිපලුගොල්ලෑව ගම්මානයේ බඩඉරඟු හේන් කීපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

එහිදී ගොවීන් අමාත්‍යයවරයාට දළඹුවන් හානි කර ඇති තම වගාවන් පෙන්වමින් කියා සිටියේ, දළඹුවන් විශාල වශයෙන් තම හේන් අක්‍රමණය කරමින් වගාවට හානි කරන බවයි, බඩඉරිඟු ගසේ බොඩයේ සිට, කොල දක්වාම ආහාරයට ගන්නා දළඹුවන්ට කෘමි නාශක යෙදුවද මර්ධනය කළ නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.වගා ණය ආදිය ලබා ගෙන අක්කර ගණනක් වගා කළ තමන්ගේ බඩඉරිඟු හේන් වල අස්වැන්න නිසි ලෙස නෙලා ගැනීමට මේ දළඹු ව්‍යාප්තිය හේතුවෙන් නොහැකි වෙතැයි බියක් පවතින බවද ගොවීන් පැවසීය.මේ සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යයවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටියහ.

ඒ අනුව අදාල හේන් කීපයක් නිරීක්ෂණය කළ අමාත්‍යයවරයා ඒ අවස්ථාවේදීම දුරකථනය ඔස්සේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා සම්බන්ධ කර ගනිමින් කියා සිටියේ, මේ වන විට අනුරාධපුරයේ බඩඉරිඟු විශාල වශයෙන් වගා කර ඇති බවත්, සේනා දළඹු උවදුර අනුරාධපුරයේ බඩ ඉරඟු වගාවන් පුරා පැතිර යන බවයි.මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති වැඩපිළිවෙල අමාත්‍යයරයා විමසා සිටියහ.

දළඹු ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දළඹු මර්ධන කටයුතු සිදු කරන බව එහිදී අධ්‍යක්ෂ ජෙනාරල්තුමන් තමන්ට පැවසූ බව, අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ගොවීන්ට පැවසීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයටත් සේනා දළඹුවාගෙන් හානියක් සිදු වෙමින් යනවා, මේ හානිය විශාල හානියක් වෙන්න කලින් අපේ ගොවි මහත්වරුත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ සඳහා අවශ්‍යය කරන විසදුම් ලබා ගත යුතුයි.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සමඟ මම දුරකථනයෙන් සම්බන්ධ වුණා, මේ වන විටත් ඔවුන් වැඩියෙන් සේනා දළඹුවා හානි කර තිබෙන ප්‍රදේශ වෙනුවෙන්, දළඹුවා මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා කියලා.ගොවිජනතාවත් මේ වන විට දළඹුවා යම් පාලනයක් කර ගෙන තිබෙනවා.අපි විශ්වාස කරනවා මේ සඳහා සාර්ථකව මුහුණ දීලා ගොවීන් ආරක්ෂා කර ගත යුතුයි.ඒ වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ලබා දිය යුතු සහන ලබා දිය යුතුයි.ඒ වගේම ගොවි මහත්වරුන්ගේ පැත්තෙනුත් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගත යුතුයි.ඒ නිසා මම සියලුම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන ගමන්ම අපි අපේ වගාවන් සේනා දළඹු හානියෙන් ආරක්ෂා කර ගන්න පුළුවන් උපරිමයෙන් උත්සහයක් දරමු, මේක තමයි අපේ දුප්පත් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවාද, එහෙම නැත්නම් විනාශ වෙනවාද කියන තීරණාත්මක මොහොතක්, ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේක ජයග්‍රහණය කරන්න එකට අත්වැල් බැඳ ගත යුතු බවයි.

Read more

Local News