ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් අද තරග පිටියට

Share

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දසුන් ශානකගේ දඹුල්ල වයිකින් සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා ස්ටැලියන්ස් අතර, අද (14) රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියම්තව තිබේ.

 

මූලික වටයේ අවසන් තරගයේදී කලම්බු පිල හමුවේ පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන ගනිමින් දඹුල්ල පිල මේ තරගයට එක් වූ අතර, අවසන් වරට එක්වූ තරග 3ම පරාජය වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිට ජැෆ්නා පිල අවසන් වටයට එක් විය.

මේ දෙපිල අවසන් වරට තරගාවලියේ මූලික වටයේ 15 වැනි තරගයේදී හමු වූ අතර, වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.

ඉන් පෙර හමු වූ 5 වැනි තරගයේදී ජැෆ්නා පිලට ලකුණු 66ක ජයක් අත් විය. එම තරගයේදී ජැෆ්නා පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 7කට ලකුණු 218ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය දඹුල්ල පිල ඕවර 19.1කදී ලකුණු 152කට දැවී ගියේය.

කෙසේ වෙතත් මූලික වටයේ පෙන්වා ඇති දස්කම් අනුව පිතිකරණය අතින් දඹුලු කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර, පන්දු යැවීමෙන් ජැෆ්නා ඉදිරියෙන් සිටී.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර, දඹුලු පිතිකරුවන් සිව්දෙනකු සිටිති. නායක දසුන් ශානක (3), නිරෝෂන් දික්වැල්ල (5), ඇන්ජෙලෝ පෙරේරා (6) සහ සමිට් පටේල් (10) එලෙස ඉදිරියෙන් සිටින අතර, මුල් පිතිකරුවන් 10 අතරේ නායක තිසර පෙරේරා (7) සහ අවිශ්ක ප්‍රනාන්දු (8) ජැෆ්නා කණ්ඩායමේ ඉදිරියේ සිටිති.

තරගාවලියේ පන්දු යවන්නන්ගෙන් පෙරමුණ ගැනීමට ජැෆ්නා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇති අතර, ඩුආන් ඔලිවර් (10) සහ උස්මාන් ශින්වාරි ද දස්කම් අතර සිටිති. අන්වර් අලී 8 වැනි තැන ගෙන සිටින්නේ දඹුලු කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලෙසිනි.

ඒ අනුව මේ තරගය දඹුලු පිතිකරුවන් හා ජැෆ්නා පන්දු යවන්නන් අතර සටනක් වී තිබේ.

දඹුලු ක්‍රීඩකයන්ට කලු පටි

මේ අතර, දඹුල්ල කණ්ඩායම මේ තරගයේදී කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන චමිල ගමගේ මහතාගේ පියාගේ අභාවයට ශෝකය පළ කිරීමට මෙලෙස කටයුතු කරන බව එහි සඳහන් වෙයි.

Read more

Local News